Thursday, January 24, 2019

කොල්ලො නෙ...... ශෝක් නේ.......

හරි ශෝක් අනේ ඔයාට නම් කොල්ලොනෙ ඉන්නෙ......ලොකු උනාම හරි ශෝක්.....අපිට තමා වැඩේ!!!!!!!!! කෙල්ලොම නෙ..........
කොල්ලො ඉන්න අම්මලට කෙල්ලො ඉන්න අම්ම කෙනෙක් මුන ගැසුන විට ඇහෙන අදෝනාව........
ඒත් බලන්නකො....
•👦👦👦👦👦👦මේ කොල්ලො යනු උපතින්ම මහා නසරානි ජාතියකි.දග වැඩක් නම් උන්ට පුරුදු කල යුතු නැත.කාගෙන්වත් බලා අනුකරනය කළ යුතුද නැත,එය ජාන ගතවම එන්නකි.

•👼👼 ඉපදුණදා පටන් උන්ට ඇත්තේ ශෝක් වැඩමය,අතපසු වීමකින් හෝ නැපිය දාන්නට නොහැකි වූ විට හෝ නැපිය මාරු කරන විට උන්ට ඇති ගැජමැටික් එකේ පිහිටෙන් අනන්තවත් මුහුණ කට සෝදා ගෙන ඇත.

• 👗🎀🎽👠කුඩ කල උවද ලස්සනට ඇදුමක් අන්දවා ගන්නට නොහැක,කඩයකට ගිය විට වුවද 3/4 පමණ ඉඩක ලස්සන සුරන්ගනාවියන්ට මෙන් ඇදුම් වෙන්වෙද්දී 1/4 පමණ ඉඩට වෙන්වූ සුලුතරයෙන් කුමක් හෝ ගැලපෙන ඇදුමක් සොයා ගත යුතුය. සුරන්ගනාවියන් සේ සරසා ගත් කෙල්ලන් දිහා බලමින් ශෝක් කොල්ලෝ වඩා ගෙන කොල්ලන්ගේ අම්මලාට ඉන්නට සිදුවේ.👖👚

• 🔌🔌🔨🔧✂🎤🎮කොල්ලන් යනු කුතුහලය පිරුනු ජීවී කොටසකි.සෙලම් බඩුවක් ගෙනාවද එය ඒ ආකරයෙන් පැය කිහිපයක් බලා ගත හැක.ඉන් පසු දකින්නට ලැබෙන්නේ හාත්පසින්ම වෙනස් එකකි.සමහර විට එහි ආසියාවේ සිට යුරෝපයටම ඇති සෙල්ලම්බඩු නිශ්පාදකයන්ගේ එකතුවකින් නිමවූ එකකි.

• උන් කෙල්ලන් මෙන් බයද නැත.සුමුදු සුකුමොල නැත. එ නිසා කරගන්නා අනතුරුවලද අඩුවක් නැත.

• 👿👿කොලු පැටවුන් බලා ගන්න ආච්චි අම්මා කෙනෙක් දිනක් කිවුවේ "මේ වසවර්ති මාර පුත්ත්රයො දෙන්න බලාගෙන මට හවස් වෙනකොට හුස්ම ගන්නත් අමතක වනවා"කියාය.කවුරුන් හෝ කොලු පැටවුන් හා පටවුන් සේ හදුන්වනු අසා නැත්තේමය.

• යන්තමට හතර පහ පංති වලට යනවිටම කොලු කම ඉහට ගසා පාසලේදි, පංතියකදි හෝ තැන නොතැන බලා ගුටිකෙල ගෙන ඇදුම් ඉරාගෙන තුවාල කරගෙන ගෙදර එන කෙලි පැටවුන් තවම දැක නැතත් ඕන තරම් කොලු පැටවුන් නම් දැක ඇත.

• 🎾🎾🎾⚾කාලයකදී කෙල්ලන්ට නැති කොල්ලන්ට  වැළදෙන ක්රිකට් උණ සන්නිපාතය වී ඉන් එහාට වලිප්පුව දක්වා වර්ධනය වූවිට ගෙදර මෙන්ම අහල පහල ගෙවල් වලද ජනෙල් වීදුරු මෙන්ම හිත්ද ශෝක් කොල්ලෝ සැනෙකින් බිද දමති.

• තව දුරටත් කර දඩු උස් මහත් වෙද්දී කොල්ලන් සෙට් එක සෙට් වී හේතු අහේතු නොවිමසා යාලුවන් වෙනුවෙන් පාරේදී,හංදි ගානේ බස්වල හෝ කෝච්චියේ පොලු හරඹ,පා හරඹ කල කෙල්ලන් ගැන අසා නැතත් අනේක වාරයක් කොල්ලන් ගැන නම් අසා ඇත.

• 🍔🍔🍔🍖පාසල් වයස පසුකල කොල්ලන්ම තුන් දෙනෙක් සිටින එක් මවක් මා සමග පැවසුවේ ඇයට "කුස්සියේ සාපය "වැදී ඇති බවය.උදයට බත් හට්ටි ගනන් තම්බන ඇය දවල්ට උයන්නේ "ආයෙ නම් හෙට උදේට තමයි උයන්නේ" කියමිනි.නමුත් ඇය රෑට පමණක් නොව හවසටත් රොටියක් හෝ හදන්නේ කුසගිනි හමුදාවේ ගින්න නිවීමටය.

• පසුගිය වසරේ o/l හා a/l  කල අයිය මලෝ දෙදෙනෙක් සිටින ගෙදරක මවක් "ඊයෙ උදෙ ගෙනාපු බිත්තර 10න් එකක් උදේ තම්බන්න බලද්දි එකක්වත් නෑ"කිවුවේ රෑ පාඩම් කරන කොල්ලො දෙන්නා දිහ හොරහින් බලා හින හෙමිනි.

•🚣🚤 තවදුරටත් බැලුවහොත් පංති යනබව කියා ගෙදරින් ගොස් වෙන වෙන තැන් වල ගියද දෙයියනේ කියා ගගේ මුහුදේ නාන්න ගොස් නැවත නොආ කෙල්ලන් නැතත් කොල්ලන් නම් ඕන තරම්ය.

•💔💔 පෙම් පල හිලවු වෙනුවෙන් පැරණි පෙම්වතා මරා දැමූ කෙල්ලන් ගැන අසා නොතිබුනද කොල්ලන් ගැන අසා ඇත. කොල්ලෙකු වෙනුවෙන් පොලු මුගුරු පිහි කිනිසි අමෝරාගහ මරා ගත් කෙල්ලන් නැතත් ඕනෑ තරම් කොල්ලන් ඇත.එසේ පැටලුනු කොල්ලන් පසුපස පොලිසි,උසාවි ,හිර ගෙවල් ගානේ අඩමින් යන්නට වීමද අම්මලාට ශෝක්ය. 🔫🔪💣

•🚨🚨 කොලු කම පෙන්විමට මෝටර් බයිසිකලයේ වැඩ දමන්නට ගොස් අතපය කඩා ගත් කොල්ලන් මෙන්ම ජීවිතයෙන්ද වන්දි ගෙවූ කොල්ලන් ගැන ඕනෑ තරම් අසා ඇත.

• කොල්ලන් ලෙස එක්තරා යුගයක ඉවසීම සක්වල ගලටත් එහාපවති.ඒ කාලයේදි හොස්ස ලගින් මැස්සාටවත් යානොහැක.අහක යන කුණුද හිස මත හොවාගනී.ඉතින් ඒ කාලයේ පෙරල ගන්නා බාල්දි බේසම් සියල්ල පිලිවෙලට ඇසිරිය යුතුය.

• අවසානයේ රස්සාවක් නැති කෙල්ලෙක් කසාද බන්දල දෙන්න පුලුවන් වුනත් රස්සාවක් ආදායම් මාර්ගයක් නැති ශෝක් කොල්ලෙකුට තම දියනිය බන්දල දීමට අනේ ශෝක් කියන අම්මලා කිසිවෙකු කැමති නොවනු ඇත.කොල්ලට ඉන්න හිටින්න තමන්ට කියල තැනක් තියෙනවද කියල විවාහයේදීද ඔවුන් සොයයි.👰👫

• මේ සියල්ලට වඩා තම කොලු පැටියා පාතාල සාමජිකයෙකු,සොරෙකු,මිනීමරුවකු නොකොට සමාජගත කල යුතු වීම ද ලංකාව වැනි රටක නොයෙක් ආකාරයෙන් ව්යප්ත වන මත් ද්රව්ය උවදුරෙන් රැක ගත යුතුය.සිගරට් එකෙන් අරක්කු වීදුරුවෙන් රැක ගත යුතුය.එයත් කොල්ලන් සිටින අම්මලාට අභියෝගයකි.

• ඒ අතරම තනියම වුව උයා පිහාගෙන කා කෑ පිගාන හෝදා කෝප්ප්ය හෝදා රෙදිටික වත් හෝදා ගත හැකි අබ්බගාත නොවන ස්වාමි පුරුශයෙක් ලෙස කොල්ලා පුරුදු පුහුනු කල යුතුය.එසේ නොවුන කල ලේලිලාගෙන් කුණු බැනුම් හෝ කුනු කුනු ඇසිය යුතු වේ.

• තවදුරටත් කොල්ලගේ ආදරය බෙදා ගැනීම වෙනුවෙන් ලේලිලා සමගද අරෝ ඇතිකර ගැනීමද ශෝක්ය.

ඉතින් මෙලෙස බලන කල කොල්ලන්ගේ උප්පත්තියේ සිට අපගේ මරනය දක්වාම කොල්ලන් අභියෝගයකි.

මටනම් උන් ශෝක් නොව ශොක් එකකි.
එසේ උවද යමෙක් කොල්ලන් ශෝක් හා කෙල්ලන් ශෝක් නැති ලෙස සලකන්නේ නම් එය එක්දහස් අටසිය ගනන් වල කට ඇති පුතෙක් හා රුව ඇති දුවෙක් හිටියොත් ඇතැයි සිතූ කාලයට පමනක් වලන්ගුයැයි මට හිතේ.

ශෝක් කොල්ලන් ගැන සිතා හූල්ල හූල්ල ඉන්නන් වලන්ගු වන්නේද එම යුගයටම පමණි.

මේ කාලයේ නම් ශෝක් කොල්ලන් හා උරෙන් උර ගැටෙන ශෝක් කෙල්ලෝද සුලබය.

තම දරුවා කොල්ලෙක් උවත් කෙල්ලෙක් උවත් ශොක් ලෙස ඇතිදැඩි කිරීම දෙමවුපියන්ගේ වගකීමය.
එසේ නැති වුවහොත් ඔය දෙගොල්ලන්ම සමාජයට ශොක් එකකි.

(මෙය මාගේ පුදිගලික මතය පමණක් වන අතර අතිශයින්ම ලංකාවට පමණක් වලංගුය..පිංතූරය අංතර්ජාලයෙනි.)

No comments:

Post a Comment